...නවතම ලිපිය...

2009/12/10

දළදා වතුර මිත්‍යාවක්ද?

දළදා වතුර හෙවත් දළදා වැස්ස ලෙස හඳුන්වන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මහජන ප්‍රදර්ශනයට විවෘත කළ විට ඒ අනුහසින් ඇද වැටෙන මහ වැස්ස බව සිංහල බෞද්ධයෝ විශ්වාස කරති.ඔවුන්ට එය ගැටළුවක් නොවන්නේ වුවද මෙරට සිටින පඬියන්ට එය මහත් අසහනයට කරුණක් වී ඇත.එබැවින් ඒ එසේ නොවන බව පෙන්වීම සඳහා මෙරට ඇතැම් පඬියන් ගෙන හැර දක්වන කරුණු හා කෙස් පැලෙන තර්ක පිළිබඳව විශ්ලේෂණයක් කිරීම මාගේ අරමුණ වෙයි.

මේ සඳහා මා පාදක කරගන්නේ පසුගිය දළදා ප්‍රදර්ශනය සමයෙහි බටහිර විද්‍යාවට වන්දනාමාන කරන,ඒ පරම සත්‍යයැ'යි සිතා සිටින එක්තරා පණ්ඩිත මහතෙකු විදුසර විද්‍යා සඟරාවට ලියා තිබූ ලිපියකි. හේතුවාදියෙක් ලෙස තමන් හඳුන්වාගන්න ඒ මහතා එවැනි සංගමයක ඉහළ නිලයක් දරන්නෙකු බවද මට පසුව දැනගන්නට ලැබිණි.ඒ කෙසේ වෙතත් ප්‍රමාද වී හෝ එයට ප්‍රතිචාරයක් ලිවිය යුතුය.

දළදා වැස්ස ආශ්චර්යයකැ යි කියන්නට මට අවශ්‍ය නැත.එසේ කියන්නට තරම් ප්‍රමාණවත් සාධකද මා සතුව නැත.නමුත් මේ මහත්වරුන් ඒ මිත්‍යාවකැ යි පෙන්වීමට යොදාගන්නා තර්ක වල විසංවාද පෙන්වා දීමට මට හැකිය.මා කීවද නොකීවද දළදා වැස්සෙහි කිසියම් විශේෂයක් ඇති බව මෙරට බහුතර බෞද්ධ ජනතාව පිළිගනිති.මේ මහත්වරුන්ගේ මානසික අසහනයට හේතු වී ඇත්තේ ඒ බටහිර විද්‍යාවෙන් පැහැදිලි කරදීමට ඇති නොහැකියාවම පමණක් නොවේ.මොවුන්ට දරාගත නොහැක්කේ ඒ පිළිගැනීමය.

පසුගිය මාර්තු මස පවත්වන ලද දළදා ප්‍රදර්ශනය ආරම්භ වූ දිනයේ,ප්‍රදර්ශනය ඇරඹීමෙන් මොහොතකට පසු මහනුවර ප්‍රදේශයට වැසි ඇද හැලුනි.ඊට මාධ්‍යයෙන්ද කිසියම් ප්‍රචාරයක් ලැබුණු හෙයින් ඒ පිළිබඳව සැකයක් තිබිය නොහැකිය.එයට පෙර පැවති ප්‍රදර්ශනය අවස්ථාවේදීද ඒ අයුරින්ම වැසි වැටුනු බව ඇතැම් විට ඔබට මතක ඇති

නමුත් ඒ මහතා(ඔහුගේ නම මෙහි සඳහන් කිරීම අවශ්‍ය නැත.එවැන්නන්ට ප්‍රසිද්ධිය ලබා දීමද ඔවුන්ට අනවශ්‍ය වටිනාකම් ලබාදීමකි)ප්‍රකාශ කරන්නෙ එහි ගුප්ත භාවයක් ඇත්දැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇසිය යුතු බවය.එහි ගුප්ත භවයක් ඇතැයි ඔවුන් තහවුරු කරන්නේ නම් ඒ ආශ්චර්යයක් ලෙස සැලකිය හැකි බවය.මේ ප්‍රකශයේම විසංවාද ඇත.ඒ මහතා ගුප්ත සංසිද්ධි ලෙස සලකනු ලබන්නේ බටහිර විද්‍යාවේ මිනුම් දඬු වලට හසු කරගත නොහැකි,එහි ප්‍රවාද ඔස්සේ අර්ථ දැක්විය නොහැකි සංසිද්ධි බව පැහැදිලිය.එසේ නම් බටහිර දැනුමක් ම වන කාළගුණ විද්‍යාවට දළදා වැස්සෙහි ඇති ගුප්ත භාවය හසු වන්නේ යැයි ඒ මහතා සිතන්නේ ඇයි?එසේ කීමට ඒ මහතා සතු තර්කය කුමක්ද?ගුප්ත භාවය යනු බටහිර විද්‍යාවේ උපකරණ හා ප්‍රවාද වලට හසු නොවීම ම නම්,එය බටහිර විද්‍යාවෙන්ම හඳුනාගත හැක්කේ කෙසේද?

අනෙක් අතට ඒ වැස්සේ තිබූ ගුප්ත භාවයක්ද නැත.ඒ සාමාන්‍ය ජලයම ඇද වැටුනු සාමාන්‍ය වැස්සක්ම විය.මෙහි ගැටළුව වන්නේ එම වැස්සට පදනම් වූ හේතුව කුමක්ද යන්නය.වැස්සට පදනම් වන හේතු කාළගුණ විද්‍යාවේ නිර්ණායක වලට හසු වන්නේ නැත.පීඩන අවපාත,සුළං ආදී කවරක් පිළිබඳව කතා කළද ඒ වන විට මාස දෙකකට වැඩි කාලයක් වැසි නොලැබ තිබූ මහනුවර ප්‍රදේශයට එදිනම වැසි වැටුනේ කෙසේදැයි යන ප්‍රශ්නයට ඒවායින් පිළිතුරු ලැබෙන්නේ නැත(දළදා ප්‍රදර්ශන දෙකෙහිදීම තත්ත්වය මෙයම විය).

දළදා ප්‍රදර්ශන අවස්ථා වලදී වැසි ඇද වැටෙන්නේය යන්න ඉතා පැරණි විශ්වාසයකි.එවැනි විශ්වාසයක් සමාජයේ මුල් බැස තිබෙන්නේ අහම්බයකින් විය නොහැකිය.එම විශ්වාසය ඇරඹුනේ කෙදින වුවද මෙපමණ කාලයක් එය පැවතගෙන එන්නේ අහම්බයකින් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.දෙතුන් වතාවක් පමණක් එය සිදු වූයේ නම් එවැනි ප්‍රබල විශ්වාසයක් බෞද්ධයන්ට නොලැබෙන බවද පැහැදිලිය.මෙරට භෞතිකවාදී පණ්ඩිතයන් කවරක් කීවද එම සංසිද්ධිය සාක්ෂ්‍ය වශයෙන් සංගත බව අපට පිළිගැනීමට සිදුවෙයි.අපිදු එම සිද්ධිය දෙවරක්ම අත්විඳ ඇත්තෙමු.අපට පෙර පරම්පරාවෝ ඊටත් වඩා ඒ අත්විඳ ඇතුවාට සැක නැත.අතීතයේ සිටම දළදා ප්‍රදර්ශන හා පෙරහැර සංවිධානය කෙරුනේ වර්ෂාව ලබා ගැනීමේ අරමුණද පෙරදැරිවය.දෙතුන් වතාවකට වඩා ඒ සාර්ථක නොවූයේ නම් පෙරහැර වුව මෙතරම් කාලයක් නොපවතිනු ඇත.මේ මහත්වරුන්ට ඒ පිළිබඳව කිව හැක්කේ මොනවාද?

අනෙක් අතට කාළගුණ විද්‍යාව යනු එතරම් නිවැරදි අනාවැකි ලබාගත හැකි දැනුම් පද්ධතියක් නොවේ.දේශපාලකයන් හැරුනු විට ජනතාවට වැඩියෙන්ම බොරු කියන්නේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බව සරල උපහාස කතාවක් වුවද එහි ඇත්තක් නැත්තේම නැත.ඒ එම ආයතනයේ සේවය කරන මහත්වරුන්ගේ හෝ අදාල උපකරණ වල ඇති ගැටළුවක් නොවෙයි.ඒ එහි ප්‍රවාද වල පවතින ගැටළුවකි.

කාළගුණ විද්‍යාව එතරම් සාර්ථක ප්‍රතිඵල ලබා නොගන්නේ එහි නිර්මාණය වී ඇති ප්‍රවාද වල ස්වභාවය නිසාය.සෑම බටහිර විද්‍යාවකම පවතින වියුක්තය කාළගුණ විද්‍යාවටද ලබා දීමට ක්‍රියා කිරීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇත.
ස්වභාව ධර්මය යනු විශ්ලේෂණයෙන් පමණක් සාර්ථක දැනුම් බිහි කළ හැකි පද්ධතියක් නොවෙයි.එහි ඉතා තීරණාත්මක සංස්ලේෂී ගුණංගද වේ.එම සංස්ලේෂණය බටහිර කාළගුණ විද්‍යාව තුල නොවීම නිසා වඩා සංගත දැනුමක් බිහි කරගැනීමට ඒ අසමත් වී ඇතැයි සිතිය හැකිය.බොහෝ කාළගුණ විද්‍යා අනාවැකි වලට වඩා අපේ ගැමියන් නිරීක්ෂණයෙන් ඉදිරිපත් කරන අනාවැකි නිවැරදි වන්නේ එහි සංස්ලේෂණය පිළිබඳවද ඔවුහු සැළකිලිමත් වන නිසාය.

මෙයට ඇති එක් උදාහරණයක් නම් බටහිර විද්‍යාවේ ඉගැන්වෙන ජල චක්‍රයයි.(එහි විවිධ ජල චක්‍ර පිළිබඳව කියැවෙන්නේ විය හැකිය.මෙහි මා සඳහන් කරන්නේ අප සාමාන්‍යයෙන් හඳුනන ජල චක්‍රයයි)ජල චක්‍රය මගින් වර්ෂාව ආශ්‍රිත සංසිද්ධි සියල්ලම පාහේ නිරූපණය කිරීම හා පැහැදිලි කිරීම කළ හැකි යැයි කියවෙයි.කෙසේ වෙතත් අද වන විට ජල චක්‍රය විකෘති වී ඇතැයි අපි කියමු.කලට වේලාවට වැසි නොවැටෙන බවත් වැටෙන වැස්සේ ක්‍රමානුකූලත්වයක් නැති බවත් අසන්නට ලැබෙයි.නමුත් ඒ සිද්ධි පැහැදිලි කිරීම ජල චක්‍රය භාවිතයෙන් කළ නොහැකිය.සම්මත ජල චක්‍රයේ අඩංගු නොවන යම් යම් සාධක(වනාන්තර හෙලි කිරීම ආදී) වල බලපෑම නිසා එවැනි විකෘති ඇති වෙයි.නමුත් එම සාධක පිළිබඳව සම්මතයෙහි අඩංගු නොවන නිසාම ඒවා පැහැදිලි කිරීමට බටහිර විද්‍යාවට නොහැකි වී ඇත.මින් කියැවෙන්නේ සංස්ලේෂණය ග්‍රහණය කරගැනීමට බටහිර විද්‍යව දක්වන අසමත්කම නිසා කාළගුණ විද්‍යාවේදී බටහිරයන් තරමක් අසමත් වන බවය.

එසේනම් මෙරට පණ්ඩිත මහත්වරුන් දළදා වැස්ස මිත්‍යාවකැයි කියන්නේ ඒ සඳහා අසමත් විද්‍යාවක් පිහිට කරගැනීමෙනි.(කාළගුණ විද්‍යාව වුව යම් යම් සංස්ලේෂී නොවන සිද්ධි නිවැරදිව පහදා දෙන්නේ විය හැකිය.නමුත් දළදා වතුර මිත්‍යාවකැ යි කියන්නට ඒ භාවිතා කිරීමට ඉන් අවසර ලැබෙන්නේ නැත.)දළදා වැස්සට හේතු පාදක වන්නේ සංස්ලේෂී සාධකයක් නම් ඒ තේරුම් ගැනීමට සංස්ලේෂී නොවන පද්ධතියකින් නොහැකි බව මේ නිවටයන්ට නොවැටහීම පිළිබඳව අපි පුදුම නොවෙමු.ඒ ඔවුන්ගේ මානසික බංකොලොත්භාවයේ ප්‍රමාණය වෙයි.කුඹුරක පඹයෙකු විසින් කරනු ලබන කාර්යයම මොවුහු මෙරටද කරති.කුරුල්ලන් බය කිරීම හැරුණු කොට පඹයාට කළ හැකි වෙන යම් දෙයක් නැත.කොහෙන් හෝ අහුලාගත් පඬි කතාවක් යොදාගෙන සාම්ප්‍රදායික විශ්වාස හා ජනමතයන්ට පහරදීම හැරුණු කොට මොවුන්ටද කළ හැකි නිර්මාණශීලී කාර්යයක් නැත.කුරුල්ලන් පඹයාට බිය වන්නේ පඹයාට කිසිවක් කළ නොහැකි බව නොදන්නා නිසාය.මෙරට ජනතාවත් මේ මහත්වරුන්ට යම් තරමක හෝ බයක් දක්වන්නේ නම් එ ඔවුන්ගේ පුහු බව පිළිබඳව ඇති නොදන්නාකම නිසාය.පඹයා තුල අඩුම තරමින් පිදුරු වත් ඇත.මොවුහු ඊටත් වඩා පුස්සෝය.

ඒ මහතාගේ තවත් අදහසක් නම් මෙවැනි මිත්‍යාදෘෂ්ටික අදහස් සමාජයෙන් ඉවත් කළ යුතු බවය.අපට අසන්නට ඇති ප්‍රශ්නය වන්නේ ඒ මහතා මේ මිත්‍යාදෘෂ්ටියකැයි කියන්නේ කවර පදනමක හිඳගෙනද යන්නය.ඒ මහතා ඒ සඳහා යොදාගන්නා ප්‍රවාද මිත්‍යාදෘෂ්ටි නොවන්නේ කෙසේදැයි අපට පෙන්වා දිය යුතුය.එවැනි අදහස් මිත්‍යාදෘෂ්ටික වූවත් නැතත් ඉන් සමාජයට වන්නා වූ හානියක් නැත.අදාල වැසි අවස්ථාවේදී ද මෙරට බෞද්ධයන් ඒ දරගත්තේ බුද්ධාලම්භන ප්‍රීතියක් වශයෙනි.මෙරට භෞතිකවාදීන්ගේ/හේතුවාදීන්ගේ මානසික අසහනයට හේතු වූවා හැරුනු කොට ඉන් කුරා කුහුඹුවකුට වුවද සිදු වූ හානියක් නැත.(තමන්ගේ කසිකබල් මතවාද මගින් මෙවැනි මහත්වරු අප සමාජයට කරන හානිය දළදා වැස්සට වඩා අතිශය භයානකය.අපව බටහිර සංස්කෘතියේම වහලුන් කිරීම හැරුනු කොට මොවුන්ට ඇති වෙනත් සමාජ අවශ්‍යතාවයක්ද නැත.එතෙක් මොවුන්ට නින්ද යන්නේද නැත)එසේ නම් ඒ අදහස සමාජගතව පැවතීමේ ඇති වරද කුමක්ද?අසම්පූර්ණ,අඥාන තර්ක මගින් ඒ මිත්‍යාවකැයි කියනවාට වඩා ඒ ප්‍රීතිය ඉතා අගනේය.

මේ මහත්වරුන්ගේ උත්සාහය වෘක්ෂ දේවතාවුන් නැතැයි කීවා වැනිමය.දේවතාවුන් සිටියද නොසිටියද ඒ අදහස නිසා සමාජයට සිදු වූ අයහපතක් නැත.අඩුම තරමින් අදාල අදහස නිසා පැරණි ගස් කිහිපයකටවත් හානියක් නොවී ඉතිරි වීමට හැකි විය.නමුත් දේවතාවුන් නැතැයි කීම නිසා සිදු වූයේ ඒ ගස් ගෘහ භාණ්ඩ බවට පත් වීම පමණය.ඒ පෙරට වඩා යහපත් තත්ත්වයක් වන්නේ කෙසේද?

විශ්ලේෂණය මෙන්ම සංස්ලේෂණයද යොදා ගනිමින් අපි අපේම දැනුමක් ගොඩනගා ගත් දිනයක ඇතැම් විට මේවා පැහැදිලි කරදීමට හැකිවනු ඇත (ඒ පැහැදිලි කර දීම අත්‍යවශ්‍ය යැයි මින් නොකියැවේ.අතිශය කුඩා ලක්ෂයකින් සමස්ත විශ්වයම ඇති වූ බව විනා එසේ වූයේ කෙසේදැයි බටහිරයන් අපට කියාදී නැත.කිසිදාක කියා දෙන්නේද නැත.එහෙත් ඊනියා උගත්තු ඒ පිළිගනිති)පැහැදිලි කළද නොකළද ඊට ඇත්තේ සමාජයීය වටිනාකමකි.ඉන් අනිකෙකුට හානියක් නොවන තාක් ඒ සමාජගතව පැවතීමේ වරදක්ද නැත.

අප කළ යුත්තේ පොරවල් වීම සඳහා අප සංස්කෘතික අනන්‍යතා වලට පහරදෙන්නන් සමාජය හමුවේ මතවාදීව නිරුවත් කිරීමය.ඔවුන්ගේ විසංවාදී පුහු තර්ක අසංගත බව පෙන්වාදී මෙරට ජනතාවට අදීන අනාගතයක් බිහි කර දීමය.

2009/11/22

..පයාසි ගේ විද්‍යාත්මක ක්‍රමය..

බටහිර දැනුම් පද්ධතිය විසින් වෙනත් දැනුම් ප්‍රතික්ෂේප කිරීම සඳහා යොදාගන්නා ප්‍රධානතම අවියක් වන්නේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයයි.ඒ යටතේ කිසි යම් දැනුමක් විශ්වසනීය වීමට නම් එය කරුණු ගණනාවක් සම්පූර්ණ කළ යුතුය.අදාල පර්යේෂණය නැවත නැවත කළ හැකි වීම,සමගාමීව පාලක පර්යේෂණයක් කිරීම,හැකිතාක් විශ්වසනීය දත්ත ලබගැනීම,පදනම් වූ ප්‍රවාදය මත සංගත වීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව කතා කරනු අසන්නට ලැබේ.ඒ සියල්ල මෙහි සඳහන් කිරීම අවශ්‍ය නොවන්නේ ඒවා හුදෙක් බටහිර විද්‍යාවේ පරම විශ්වසනීයත්වයක් ඇතැයි පෙන්වීම සඳහා යොදාගන්නා පුරසාරම් පමණක් වීම නිසාය.

එවැනි දේවල් පිළිබඳව මහ ඉහළින් කතා කළද බටහිර දැනුම් පද්ධතියවත් ඒවා අනුගමනය නොකරන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි,නැතහොත් බටහිරයන් අපෙන් සඟවන කරුණකි.විද්‍යාත්මක ක්‍රමයෙහි නිර්මාතෘවරයා ලෙස ඔවුන් අපට පෙන්වා දෙන්නේ ගැලීලියෝ ගැලීලි විද්වතාය.ඔහු එය කරන ලද්දේ එකම මොහොතකදී ඉහලක සිට අත් හරින ලද,සමාන ස්කන්ධ සහිත වස්තූන් එකම අවස්ථාවේදී පොළොවට වැටෙන බව පෙන්වීම සඳහා ගොඩ නැඟූ පර්යේෂණයේදී බවත් අපට කියා දී ඇත.

එම පරීක්ෂණයෙන් ගැලීලියෝ පෙන්වීමට උත්සහ කළේ ගුරුත්වජ ත්වරණය (ත්වරණය යන සංකල්පයද ඔහුගේම නිර්මාණයකි) සෑම වස්තුවක් සඳහාම එකම අගයක් ගන්නා බවය.පීසා හි ඇලවෙන කුළුණේදී මෙය සිදුකරන ලදැයි කියැවෙන කතාවට අනුව ඒ මත සිට වෙනස් ස්කන්ධ වලින් යුතු යකඩ ගෝල දෙකක් එකම විටකදී පොළවට අත් හළ විට ඒවා එකම මොහොතකදී පොළවට ළඟා වන බව රැස්ව සිටිය'වුන්ට පෙන්වා දීමට/ඇඟවීමට ඔහු සමත් වූයේය.ඉහළම ගණයේ බුද්ධිමතෙකු හා ශූර නුවණක් පැවැතියෙකු වූ ගැලීලියෝ එහිදී තමන්ට පෙන්වීමට අවශ්‍ය වූ දෙය පෙන්වීම සඳහා කපටිකමක්ද කළේය.ඔහු තෝරාගත් වස්තු ඔහුට පෙන්වීමට අවශ්‍ය පරිදි හැසිරෙන වස්තු විය. එනම් එකම අවස්ථාවේදී පොළොවට වැටෙන වස්තු ඔහු තමාගේ පරීක්ෂණයට තෝරාගත්තේය.විවිධ වස්තූන් මත වාතයෙන් ප්‍රතික්‍රියාවක් ඇති වන විට ඒවා විවිධාකාරයෙන් හැසිරෙන බව අපි දනිමු. ඒ අනුව පිහාටුවක්,තැටියක් වැනි දේ ඉහත ආකාරයට නොහැසිරෙයි.ඉහත ආකාර වස්තූන් තෝරාගත්තේ වී නම් ගැලීලියෝට සිදුවන්නේ ප්‍රසිද්ධියේ විහිළුකාරයෙකු බවට පත් වීමටය. රික්තයක් තුලදී නම් ඕනෑම වස්තූන් දෙකක් එසේ එකම මොහොතකදී පොළවට වැටෙනු ඇත.නමුත් රික්තයක් නිර්මාණය කිරීම වෙනුවට ගැලීලියෝ කළේ වාතය තුල වුව තමන් පෙන්විය යුතු දෙය පෙන්වන ආකාරයේ වස්තූන් තෝරාගැනීමය.පිහාටු හෝ තැටි වැනි වස්තු අනෙක්වා සමග එකම විට බිමට නොවැටෙන බවක් ගැලීලියෝ කීවේද නැත.ඔහු කීවේ සෑම වස්තුවකටම තමාගේ ප්‍රවාදය අදාල බවය.ඔහු රික්තයක් ගැන කිසිවක් කීවේද නැත.එනම් ඊනියා විද්‍යාත්මක ක්‍රමයෙහි නිර්මාතෘවරයාම එහිදී සිදුකර ඇත්තේ හුදු ව්‍යාජයකි.

මේ කිසිත් අපට බටහිරයන් නොකියන බැවිනුත් කලාතුරකින් මෙරට පහළ වන බුද්ධිමතෙකු එවැන්නක් පෙන්වා දෙන විට අප මත පටවා ඇති හීනමානය නිසා ඒ නොපිළිගන්නා නිසාත් අපි තවමත් අපට විධික්‍රමය ලබා දීම පිලිබඳව ගැලීලියෝට හා බටහිරයන්ට පින් දී වැඳ වැටෙමු.

බටහිරයන්ට කෙසේ වෙතත් අපට නම් ඊනියා විද්‍යාත්මක ක්‍රමයෙන් ඇති පලක් නැත.ඒ අනුසාරයෙන් බුදු දහම විද්‍යානුකූල වන බව හෝ අපගේ සාම්ප්‍රදායික විශ්වාස බොරු වන බව හෝ ඔප්පු කළ නොහැකිය.එසේ කිරීමට උත්සාහ කිරීමද නිවට කමෙහි ලක්ෂණයක් පමණෙකි.ඊනියා විද්‍යාත්මක ක්‍රමය ගැලීලියෝගේ තබා කිසිදු බටහිරයෙකුගේ නිර්මාණයක්වත් නොවේ.ඒ නිර්මාණය කළේ පයාසි නම් වෛදික බ්‍රාහ්මණයෙකි.

හැරත් දැන් දැන් බටහිර විද්‍යාවේ කෙරෙන බොහොමයක් පරීක්ෂණ විධි ක්‍රමයට අනුකූල වන්නේද නැත.ක්වොන්ටම් භෞතිකයෙහි,විශ්වවේදයෙහි කෙරෙන පරීක්ෂණ නැවත නැවත කිරීම කළ නොහැක්කකි.අනෙක් අතට ඇතැම් පරීක්ෂණ කිසිදා කළ හැකි වෙත්දැයි කීමටද නොහැකිය.ඒවා බොහෝ විට ගණිතමය සූත්‍ර වලට පමණක් සීමා වී පවතිනු ඇත.ඇතැම් පරීක්ෂණ විශ්වසනීය(අදාල ප්‍රවාදයට සාපේක්ෂව) ප්‍රතිඵල ලබදෙන්නේ විශේෂ තත්ත්ව යටතේ පමණෙකි.තවත් ඒවා ඒවායේ පදනම් වූ ස්වසිද්ධිය හෝ උපකල්පන මතම තීරණය වේ.ස්වසිද්ධිය හෝ උපකල්පන වෙනස් කළ විට ප්‍රතිඵලයද වෙනස් වෙයි.මේ ආදී හේතු පිළිබඳව සිතා බලා ඇත්තේ අපෙන් කීදෙනෙක්ද?

පයාසි වනාහී බුදුන් වහන්සේගේ සමකාලීන වෛදික බ්‍රාහ්මණයෙකි.බුදුන් වහන්සේ දේශනා කළ අනාත්මවාදී දහම නිසා වෛදික දහමේ වූ ආත්මවාදයට පහරවදින බවත්,ආත්මවාදය බේරාගැනීමට නම් ආත්මයක් ඇති බව තහවුරු කර පෙන්විය යුතු බවත් පයාසි තේරුම් ගත්තේය.ඒ අනුව ඔහු පර්යේෂණයක් සැළසුම් කළේය.එකල පර්යේෂණය යන සංකල්පය තිබුණේ දැයි නිශ්චිතව කිව නොහැකිය.ඒ කෙසේ වෙතත් පයාසි ඒ සඳහා ක්‍රමවේදයක් සැළසුම් කළේය.එය පියවර හතරක් දක්වා දීර්ඝ විය.

පළමුව මරණයට කැපවූ මිනිසුන් කිහිප දෙනෙක් සොයාගත් පයාසි(පයාසි වැනි බමුණන්ට එකල දේශපාලනය තුලද ඉහළම පිළිගැනීමක් පැවති බවට සැකයක් තිබිය නොහැකිය.අධිපති මතවාදය පවත්වාගෙන යාම සඳහා දේශපලන බලයක් පැවතිය යුතු බවද මින් කියැවෙයි.ඒ බිඳහෙලීමටද එවැනිම බලයක් අවශ්‍ය වේ.අද වන විට මෙය තීරණාත්මක අවශ්‍ය තාවයක්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.තවද පයාසි ව අත් අඩංගුවට ගෙන දඬුවම් කරන්නැයි කීමට ඊනියා මානව හිමිකම් වෙළෙන්දන්ද එවක දඹදිව හිඳ නැත.) එක් මිනිසෙකුගේ ශරීරය කොටස් වලට ඉරා දමමින් ඒ තුල ආත්මයක් ඇත්දැයි සොයා බැලුවේය.එවැනි විශේෂ යමක් හඳුනාගත නොහැකි වූ විට ඔහු සිය දෙවන පරීක්ෂණය සැළසුම් කළේය.

එහිදී මරණයට කැපවූ දෙවන මිනිසාව ක්ෂණිකව මරා දැමිනි.එවිට එම ශරීරයෙන් ආත්මය ලෙස හඳුනාගත හැකි යමක් ඉවත්ව යන්නේදැයි ඔහු නිරීක්ෂණය කළේය.එයින්ද පයාසි ට අවශ්‍ය වූ ප්‍රතිඵලය නොලැබිණි.කෙසේ වෙතත් ආත්මය පිටවී යනු තමන්ට නොපෙනීමෙන් එවැන්නක් නැති බව තීරණය කළ නොහැකිය.ආත්මය නොපෙනෙන දෙයක් වීමටද ඉඩ තිබේ.එබැවින් පයාසි සිය තෙවන පරීක්ෂණය සැළසුම් කළේය.
තෙවැනි මිනිසාගේ බර කිරාගත් ඔහු මිනිසාව මරා දමා මෘත දේහයේ බර කිරා බැලුවේය.ආත්මයක් තිබුණේ නම් හා මරණය සමග එය ඉවත්ව ගියේ නම් මෘත දේහයේ බර මිනිසාගේ බරට වඩා අඩු විය යුතුය.කෙසේ නමුත් එයින්ද අවශ්‍ය පිළිතුර නොලද තැන (පාඨාංක දෙකම සමාන වීමෙන් පයාසි සැළකිය යුතු තරම් නිරවද්‍යතාවකින් ඒවා ලබාගෙන ඇති බවද කියැවෙයි) මරණාසන්න බමුණෙකු වෙත ගිය පයාසි,මරණයෙන් පසු ආත්මය පිටත්ව ගියේ නම්,නැවත ඉපදීමෙන් අනතුරුව තමා වෙත පැමිණ එය දැනුම් දෙන ලෙස අයැද සිටියේය(පයාසි ඒ සඳහා බමුණෙකු වෙතටම ගියේ ඇයි?බමුණෙක් ලබා දෙන දත්ත ක්ෂත්‍රීය,වෛශ්‍ය හෝ ශුද්‍ර මිනිසෙකු ලබා දෙන දත්ත වලට වඩා විශ්වසනීයද?ඒ එසේ නම් වෙනත් කුලයක මිනිසෙකු ලබා දෙන දත්ත විශ්වසනීය නැතැයි පයාසි නිගමනය කළේ ඇයි?අප නිර්මාණය කරන ප්‍රවාද පිලිගැනීමට මෙරට ඊනියා උගතුන් දක්වන අකමැත්ත හා පයාසිගේ ඉහත ක්‍රියාව අතර සමානතාවයක් වෙත්ද?ඊනියා උගතුන් පිළිගන්නේ තම බටහිර ස්වාමිදරුවන්ගේ ප්‍රවාද පමණක්ද?).

කෙසේ වෙතත් පයාසිට සාර්ථකත්වයක් ලබාගැනීමට නොහැකි විය(සාර්ථකත්වය යනු කුමක්දැයි තීරණය වන්නේ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වන සහ ලැබෙන ප්‍රතිඵල වලට සාපේක්ෂවය.බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුණේ වුවද ඇතැම් පරීක්ෂණ සාර්ථක ලෙස නොසැළකෙන්නේ නැත)නමුත් අපට මෙහිදී වඩා වැදගත් වන්නේ ඔහු ඊනියා විධි ක්‍රමයේ(විද්‍යාත්මක ක්‍රමයේ) බොහෝ කොන්දේසි වලට අනුකූලව තම පරීක්ෂණය සිදු කළ බවය.

පයාසි ගේ පරීක්ෂණ අමානුෂික යැයිද එබැවින් ඒ පරීක්ෂණයක් ලෙස සැළකිය නොහැකි යැයිද,පරීක්ෂණ වල අරමුණ විය යුත්තේ මිනිසාට යහපතක් කිරීම යැයිද කියන්නන්ට කිවයුත්තක් ඇත.පයාසි ගේ පරීක්ෂණ අමනුෂික බව සැබෑය.නමුත් බටහිර විද්‍යාව තුල කෙරෙන සියලු පරීක්ෂණ මානුෂික වන්නේද?කිසිසේත් නැත.යන්තම් හෝ එසේ කිවහැකි පරීක්ෂණ බටහිර විද්‍යාවේ වුවද ඇත්තේ අතලොස්සකි.ඊනියා විද්‍යාත්මක පරීක්ෂණ වල සාර්ථකත්වය උදෙසා අහිංසක සතුන් කොපමණ සංඛ්‍යාවකගේ,මිනිසුන් කොපමණ සංඛ්‍යාවකගේ ජීවිත බිලිගෙන ඇත්දැයි,බිලි ගනු ඇත්දැයි සිතා බැලිය යුතුය.අනෙක් අතට මිනිසුන්ට යහපතක් වන්නේය යන්න වෙනත් සතුන්ගේ ජීවිත බිලි ගැනීමට මිනිසාට ඇති නිදහසට කරුණක් වන්නේ කෙසේද?ඒ යහපත යනු සමස්ත මිනිස් වර්ගයාට වන යහපතක් නොව බටහිර මිනිසාට වන යහපතක් පමණක් බවද අපි මතක තබා ගත යුතු වෙමු. (එක්සත් ජනපදය විසින් ජපානයට පරමාණු බෝම්බ හෙළන ලද්දේ පරීක්ෂණයක් වශයෙන්ද බව මෙහිදී අපේ සිහියට නැගෙයි).

පරීක්ෂණ වල ඊනියා යහපත ගැන පයාසි ට දොස් පවරන්නන්ට කිව යුත්තේ ඊට පෙර බටහිරයන්ට ඒ පවසන ලෙසය.පයාසි බොහෝ විට තම මුල් පරීක්ෂණ සඳහා යොදාගන්නට ඇත්තේ ශුද්‍රයන් විය හැකිය(පයාසි කළ දේ සාධාරණ හෝ යහපත් වන්නේ යැයි මින් නොකියැවේ).අද බටහිරයන් තමන් හැරුනුකොට වෙනත් සත්ත්වයින් හා ජන වර්ග කෙරෙහි දක්වන්නා වූ ආකල්පයම(ඊට වඩා තරමක් වෙනස්ව) බමුණෝ,ශුද්‍රයන් කෙරෙහි දැක්වූහ. දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ උන් වහන්සේගේ දරුවන් වන බටහිරයන්ට විනා එසේ නොවන අපට නොවෙයි.

ඒ කවරක් වෙතත් පයාසි ඊනියා විධි ක්‍රමයේ පියවර අනුගමනය කළේ වුවද(පයාසි තම පරීක්ෂණය සැළසුම් කළේය,පාඨාංක ලබා ගත්තේය,ඒවා සංසන්දනය කළේය,නිරීක්ෂණ කළේය,උපකල්පන කළේය.) එහි නිර්මාතෘවරයා ලෙස ඔහු නොසැළකෙන්නේ ඇයි?වියුක්තය හැරුණු කොට ගැලීලියෝ වුවද පයාසි ට වඩා දැක්වූ දක්ෂතාවය කුමක්ද?ගැලීලියෝ කළේ සෑහෙන තරමක ප්‍රෝඩාවක් බව ඉහත පෙන්වා ඇත.
මේ සියල්ලෙන් කියැවෙන්නේ විද්‍යාත්මක ක්‍රමය යනු පටන්ගැන්මේ සිටම ව්‍යාජයක් බව විනා අන් කවරක්වත් නොවේ.අපව වහලුන් කොට,අප මත සංස්කෘතික යටත්විජිතවාදය පැටවීම සඳහා හැර බටහිරයන්ට වත් ඊනියා විධි ක්‍රමයෙන් ඇති පලක් නැත.මේ පුහු කොන්දේසි වලට යටත් නොවී අප වහ වහා දැනුම නිර්මාණය කළ යුතුය.ඒවා අපේ පදනමට අනුකූල වීම හා සංගත වීම සෑහේ.

ඒ දැනුම අවියක් කොට අපි සංස්කෘතික යටත්විජිතවාදයට එරෙහිව සටන් කළ යුතු වෙමු.ඒ සටනින් අප ජයග්‍රහණය කරන්නේ කෙදිනද,එදින සමස්ත ලෝකයම සැනසුම් සුසුම් හෙලනු ඇත...

2009/11/21

හෙට දින අරුණ උදෙසා...

පසුගිය සියවස් අටක පමණ කාලය තුල අප සතුව තිබූ බොහෝ දේ අපට අහිමි වී ගොස් ඇති බව අපි දනිමු.අපේ සංගීතය සම්පූර්ණයෙන්ම වාගේ පරිහනියට පත් වූ අතර,වෙදකම සහ තාක්ෂණ ශිල්ප ඉතා සුළු නටබුන් කිහිපයක් තබා වියැකී ගොස් තිබේ.එහි අවසන් ප්‍රතිඵලය වූයේ වැව හා දාගැබ හැර වෙනත් උරුමයක් හෝ නිර්මාණශීලිත්වයක් රහිත ජාතියක් ලෙස අප හංවඩු ලැබීමය(නැතහොත් හංවඩු ගැසීමය).භාරතය සහ බටහිර අපට වඩා ඉතා උසස් හා අනභිභවනීය වන්නේ යැයි අපට පැවසූ ඇතැම් පිරිසක්, එබැවින් අප භාරතය සහ බටහිර අනුගමනය හෝ අනුකරණය කළ යුතු යැයි කීහ.
ඒ අනුව මෙරට සංගීතඥයන් භාරතයේ සරණ ගිය අතර අනෙකුත් සියලුම දේ සම්බන්ධයෙන් අපි බටහිර සරණ ගියෙමු.තවමත් එයම කරමින් සිටින්නෙමු.මෙහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ භාරතීය හා බටහිර පද්ධතීන්(මා මෙහිදී පද්ධතිය යනුවෙන් හඳුන්වන්නේ දැනුම හා සංස්කෘතියයි.නමුත් ඒවා එකිනෙක සමග අන්‍යොන්‍යව බැඳී ඇති බව මතක තබා ගත යුතුය) වලපල්ලට යන විට අපටද එමගෙහිම යාමට සිදුවීමය.භාරතීය පද්ධතිය කෙසේ වෙතත් බටහිර පද්ධතියනම් කිසිදාක වලපල්ලට නොයනු ඇතැයි ඇතැම් කෙනෙකුට කිව හැකි වුවද,එය එසේ නොවන බව බටහිර ලෝකය අද වන විට මුහුණ දෙමින් සිටින අර්බුද වලින්ම හෙළි වේ.මින් කියැවෙන්නේ තව නොබෝ දිනකින් බටහිර පද්ධතිය බිඳ වැටෙනු ඇති බව නොවෙයි.ඊට තවත් තරමක කාලයක් ගත වනු ඇත.ඒ කෙසේ වෙතත් එම පද්ධතීන් බිඳ වැටෙන දිනයේදී අපද එම වලටම යා යුතු නැත.
එසේ නම් මේ අනතුරුදායක තත්ත්වයෙන් මිදීමට අප කුමක් කළ යුතුද?
මෙම ප්‍රශ්නයට ඇත්තේ සරල පිළිතුරකි. ඒ අප එම පද්ධති මත යැපීමෙන් මිදිය යුතුය යන්නය.නමුත් පිළිතුර සරල වූ පමණින් එය ක්‍රියාවට නැංවීමද සරල කටයුත්තකැයි නොසිතිය යුතුය.අප භාරතීය හා බටහිර පද්ධතීන් අත හරින්නේ නම් එවිට අපට ඒ වෙනුවට වෙනත් පද්ධතියක අවශ්‍යතාවයක් ඇති වනු ඇත.අප කළ යුත්තේ ඒ සඳහා අපේම වූ පද්ධතියක් සොයාගැනීමය.සොයාගැනීමට පද්ධතියක් නැත්නම් අපටම වන පද්ධතියක් අළුතින් ගොඩනැංවීමය.එය ගැඹුරු,බැරෑරුම් කටයුත්තකි.එබැවින් අප කරන්නේ කුමක්ද,එය කරන්නේ කෙසේද යන්න පිලිබඳව නිරවුල්,පැහැදිලි,පුළුල් අවබෝධයක් අප සතු විය යුතුය.
අපට අපේම වූ පද්ධතියක් පැවති බව අමුතුවෙන් කිව යුතු නැත.එවැන්නක් නොපැවතියේ නම් අපට අනන්‍ය වූ සංස්කෘතියක් බිහි කරගැනීමට අපට හැකි වන්නේද නැත.එහෙත් ගැටලුව වන්නේ එම පද්ධතියට කුමක් වූයේද? යන්නය.හින්දු ආක්‍රමණ හේතුවෙන් හෝ වෙනත් හේතු කීපයක් නිසා 11වන සියවසේදී අනුරධපුර රාජධානිය බිඳවැටීමත්,15වන සියවසේදී ඇරඹෙන බටහිර ආක්‍රමණ රැල්ලත් හේතු කොට ගෙන එම පද්ධතියේ පරිහානිය සිදුවිය.
බටහිර ආක්‍රමණ වලින් පසුව තත්ත්වය ඉතා බරපතල වූ බවද පැහැදිලිය.බටහිරයෝ දේශීය නායකත්වය විනශ කළා පමණක් නොව ඔවුන්ට කත් ඇද්දවුන්ට තාන්න මාන්න ලබාදීම ඔස්සේ අනුකරකයන් පිරිසක් බිහි කිරීමටද සමත් වූහ.1948දී ඉංග්‍රීසීන් මෙරට හැර ගියද එම අනුකාරක ස්වදේශිකයන් මතින් ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යය තවදුරටත් පවත්වාගෙන ගියහ.
අප පිලිගැනීමට කැමති වූවත් නැතත් අද ද මේ තත්ත්වයෙහි සැළකිය යුතු වෙනසක් සිදු වී නැත.
අපේ පදනම ඇත්තේ භාරතයෙහි හෝ බටහිර හෝ නොව මෙහිම බව අපි වටහාගෙන සිටිමු.ඒ පදනම මතින් නැවුම් ආරම්භයක් ලබාගැනීමට කාලය එළැඹ තිබේ.මේ උත්සාහය ඒ උදෙසාමය.
එය පහසු කටයුත්තක් නොවේ.යා යුතු මග දීර්ඝය,වල ගොඩැලි සහිතය,දුෂ්කරය.නමුත් යටත්විජිතවාදයෙන් බැට කන ජාතියකට නිවහල් අනාගතයක් බිහි කරගැනීම උදෙසා අපි ඒ මග යා යුතුය..
මේ එහි ඇරඹුම පමණෙකි....

2009/11/18

අපට සිදුවූයේ කුමක්ද?

වසර එක්දහස් අටසියයකට නො වැඩි කාලයක් තුල(ක්‍රි.පූ.300-ක්‍රි.ව.1500) වැව් තිස් හතලිස් දහසක් සහ ස්ථූප දහසක් පමණ බිහි කිරීම සුලු පටු කාර්යයක් නොවේ.නමුත් එසේ කළ ජාතියකට පසුගිය වසර 200ක පමණ කාලයක් මුලුල්ලේම එකදු වැවක් හෝ ඉදිකරගත නොහැකි වීමෙන් (වික්ටෝරියා,රන්ටැඹේ ආදිය හෝ සේනානායක සමුද්‍රය යනු වැව් නොවන බව ඒවා අද පත් ව ඇති තත්ත්වයෙන්ම තේරුම් ගත හැකිය) කියැවෙන්නේ කුමක්ද?මේ වෙනත් ජාතියක ඉරණම නොවේ.කිසිදා සිතා නොබැලුවද අප පත්ව ඇති තත්ත්වය පිළිබඳව තරමක හෝ අවබෝධයක් ඉන් ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.එසේ නම් අපට සිදුවූයේ කුමක්ද?
පසුගිය කාලය තුල අපි කෘෂිකර්මය උදෙසා එතරම් අවධානයක් යොමු නොකළ බව කීමෙන් හෝ අවශ්‍ය භෞතික සම්පත් නොමැති බව කීමෙන් ප්‍රශ්නයෙන් ගැලවී යාමට අපට හැකිද?(මහවැලි ව්‍යාපෘති ආදිය ක්‍රියාත්මක කෙරුණේ අපට ඊට අවශ්‍ය සම්පත් කෙසේ හෝ ලැබුණු බැවිනි).කෙතරම් සම්පත් ලබාදුන්නද අද අපට(අපට කෙසේවෙතත් ඉංජිනේරුවරයෙකුට හෝ)වැවක් ගොඩනැගිය හැකිද?නොහැක්කේ නම් ඒ ඇයි?

නිසල නිම්නයට එන්න...

අද පටන් මෙහි දිග හැරෙන නිසල නිම්නය බ්ලොග් පිටුව නව අරමුණක් වෙනුවෙන් පෙනී සිටී.අන්තර්ජාලය තුල හරවත් සිංහල සාකච්ඡා පැවැත්වෙන වේදිකාවක් ලෙස නිසල නිම්නය ක්‍රියාත්මක වනු ඇත.
මූලික වශයෙන් දර්ශනය,විද්‍යාව(සමාජ විද්‍යාවද ඇතුලුව),සාහිත්‍යය,ඉතිහාසය ආදිය පිළිබඳව මෙහි සාකච්ඡා පැවැත්වෙනු ඇත.ඒ සියලුම සාකච්ඡා සඳහා ඔබගේ දායකත්වය මිත්‍රත්වයෙන් යුතුව අපේක්ෂා කරමි.
නිසල නිම්නයට එන්න...ඔබගේ හරවත්,නැවුම්,තර්කානුකූල අදහස් අන්‍යයන් සමග බෙදාගන්න.ඔබ මේ නිම්නයේ රෝපණය කරන බීජ තවත් අදහස් වලින් සාරය ලබාගෙන වැඩෙනු ඇත.ඒ අදහස් නිවහල් පරපුරක් උදෙසා සෙවණ සාදන දිනයේදී ඒ පිණිස මග හසර තැනූවෙකු ලෙස සතුටු වීමට ඔබට හැකි වනු ඇත.