...නවතම ලිපිය...

2009/11/22

..පයාසි ගේ විද්‍යාත්මක ක්‍රමය..

බටහිර දැනුම් පද්ධතිය විසින් වෙනත් දැනුම් ප්‍රතික්ෂේප කිරීම සඳහා යොදාගන්නා ප්‍රධානතම අවියක් වන්නේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයයි.ඒ යටතේ කිසි යම් දැනුමක් විශ්වසනීය වීමට නම් එය කරුණු ගණනාවක් සම්පූර්ණ කළ යුතුය.අදාල පර්යේෂණය නැවත නැවත කළ හැකි වීම,සමගාමීව පාලක පර්යේෂණයක් කිරීම,හැකිතාක් විශ්වසනීය දත්ත ලබගැනීම,පදනම් වූ ප්‍රවාදය මත සංගත වීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව කතා කරනු අසන්නට ලැබේ.ඒ සියල්ල මෙහි සඳහන් කිරීම අවශ්‍ය නොවන්නේ ඒවා හුදෙක් බටහිර විද්‍යාවේ පරම විශ්වසනීයත්වයක් ඇතැයි පෙන්වීම සඳහා යොදාගන්නා පුරසාරම් පමණක් වීම නිසාය.

එවැනි දේවල් පිළිබඳව මහ ඉහළින් කතා කළද බටහිර දැනුම් පද්ධතියවත් ඒවා අනුගමනය නොකරන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි,නැතහොත් බටහිරයන් අපෙන් සඟවන කරුණකි.විද්‍යාත්මක ක්‍රමයෙහි නිර්මාතෘවරයා ලෙස ඔවුන් අපට පෙන්වා දෙන්නේ ගැලීලියෝ ගැලීලි විද්වතාය.ඔහු එය කරන ලද්දේ එකම මොහොතකදී ඉහලක සිට අත් හරින ලද,සමාන ස්කන්ධ සහිත වස්තූන් එකම අවස්ථාවේදී පොළොවට වැටෙන බව පෙන්වීම සඳහා ගොඩ නැඟූ පර්යේෂණයේදී බවත් අපට කියා දී ඇත.

එම පරීක්ෂණයෙන් ගැලීලියෝ පෙන්වීමට උත්සහ කළේ ගුරුත්වජ ත්වරණය (ත්වරණය යන සංකල්පයද ඔහුගේම නිර්මාණයකි) සෑම වස්තුවක් සඳහාම එකම අගයක් ගන්නා බවය.පීසා හි ඇලවෙන කුළුණේදී මෙය සිදුකරන ලදැයි කියැවෙන කතාවට අනුව ඒ මත සිට වෙනස් ස්කන්ධ වලින් යුතු යකඩ ගෝල දෙකක් එකම විටකදී පොළවට අත් හළ විට ඒවා එකම මොහොතකදී පොළවට ළඟා වන බව රැස්ව සිටිය'වුන්ට පෙන්වා දීමට/ඇඟවීමට ඔහු සමත් වූයේය.ඉහළම ගණයේ බුද්ධිමතෙකු හා ශූර නුවණක් පැවැතියෙකු වූ ගැලීලියෝ එහිදී තමන්ට පෙන්වීමට අවශ්‍ය වූ දෙය පෙන්වීම සඳහා කපටිකමක්ද කළේය.ඔහු තෝරාගත් වස්තු ඔහුට පෙන්වීමට අවශ්‍ය පරිදි හැසිරෙන වස්තු විය. එනම් එකම අවස්ථාවේදී පොළොවට වැටෙන වස්තු ඔහු තමාගේ පරීක්ෂණයට තෝරාගත්තේය.විවිධ වස්තූන් මත වාතයෙන් ප්‍රතික්‍රියාවක් ඇති වන විට ඒවා විවිධාකාරයෙන් හැසිරෙන බව අපි දනිමු. ඒ අනුව පිහාටුවක්,තැටියක් වැනි දේ ඉහත ආකාරයට නොහැසිරෙයි.ඉහත ආකාර වස්තූන් තෝරාගත්තේ වී නම් ගැලීලියෝට සිදුවන්නේ ප්‍රසිද්ධියේ විහිළුකාරයෙකු බවට පත් වීමටය. රික්තයක් තුලදී නම් ඕනෑම වස්තූන් දෙකක් එසේ එකම මොහොතකදී පොළවට වැටෙනු ඇත.නමුත් රික්තයක් නිර්මාණය කිරීම වෙනුවට ගැලීලියෝ කළේ වාතය තුල වුව තමන් පෙන්විය යුතු දෙය පෙන්වන ආකාරයේ වස්තූන් තෝරාගැනීමය.පිහාටු හෝ තැටි වැනි වස්තු අනෙක්වා සමග එකම විට බිමට නොවැටෙන බවක් ගැලීලියෝ කීවේද නැත.ඔහු කීවේ සෑම වස්තුවකටම තමාගේ ප්‍රවාදය අදාල බවය.ඔහු රික්තයක් ගැන කිසිවක් කීවේද නැත.එනම් ඊනියා විද්‍යාත්මක ක්‍රමයෙහි නිර්මාතෘවරයාම එහිදී සිදුකර ඇත්තේ හුදු ව්‍යාජයකි.

මේ කිසිත් අපට බටහිරයන් නොකියන බැවිනුත් කලාතුරකින් මෙරට පහළ වන බුද්ධිමතෙකු එවැන්නක් පෙන්වා දෙන විට අප මත පටවා ඇති හීනමානය නිසා ඒ නොපිළිගන්නා නිසාත් අපි තවමත් අපට විධික්‍රමය ලබා දීම පිලිබඳව ගැලීලියෝට හා බටහිරයන්ට පින් දී වැඳ වැටෙමු.

බටහිරයන්ට කෙසේ වෙතත් අපට නම් ඊනියා විද්‍යාත්මක ක්‍රමයෙන් ඇති පලක් නැත.ඒ අනුසාරයෙන් බුදු දහම විද්‍යානුකූල වන බව හෝ අපගේ සාම්ප්‍රදායික විශ්වාස බොරු වන බව හෝ ඔප්පු කළ නොහැකිය.එසේ කිරීමට උත්සාහ කිරීමද නිවට කමෙහි ලක්ෂණයක් පමණෙකි.ඊනියා විද්‍යාත්මක ක්‍රමය ගැලීලියෝගේ තබා කිසිදු බටහිරයෙකුගේ නිර්මාණයක්වත් නොවේ.ඒ නිර්මාණය කළේ පයාසි නම් වෛදික බ්‍රාහ්මණයෙකි.

හැරත් දැන් දැන් බටහිර විද්‍යාවේ කෙරෙන බොහොමයක් පරීක්ෂණ විධි ක්‍රමයට අනුකූල වන්නේද නැත.ක්වොන්ටම් භෞතිකයෙහි,විශ්වවේදයෙහි කෙරෙන පරීක්ෂණ නැවත නැවත කිරීම කළ නොහැක්කකි.අනෙක් අතට ඇතැම් පරීක්ෂණ කිසිදා කළ හැකි වෙත්දැයි කීමටද නොහැකිය.ඒවා බොහෝ විට ගණිතමය සූත්‍ර වලට පමණක් සීමා වී පවතිනු ඇත.ඇතැම් පරීක්ෂණ විශ්වසනීය(අදාල ප්‍රවාදයට සාපේක්ෂව) ප්‍රතිඵල ලබදෙන්නේ විශේෂ තත්ත්ව යටතේ පමණෙකි.තවත් ඒවා ඒවායේ පදනම් වූ ස්වසිද්ධිය හෝ උපකල්පන මතම තීරණය වේ.ස්වසිද්ධිය හෝ උපකල්පන වෙනස් කළ විට ප්‍රතිඵලයද වෙනස් වෙයි.මේ ආදී හේතු පිළිබඳව සිතා බලා ඇත්තේ අපෙන් කීදෙනෙක්ද?

පයාසි වනාහී බුදුන් වහන්සේගේ සමකාලීන වෛදික බ්‍රාහ්මණයෙකි.බුදුන් වහන්සේ දේශනා කළ අනාත්මවාදී දහම නිසා වෛදික දහමේ වූ ආත්මවාදයට පහරවදින බවත්,ආත්මවාදය බේරාගැනීමට නම් ආත්මයක් ඇති බව තහවුරු කර පෙන්විය යුතු බවත් පයාසි තේරුම් ගත්තේය.ඒ අනුව ඔහු පර්යේෂණයක් සැළසුම් කළේය.එකල පර්යේෂණය යන සංකල්පය තිබුණේ දැයි නිශ්චිතව කිව නොහැකිය.ඒ කෙසේ වෙතත් පයාසි ඒ සඳහා ක්‍රමවේදයක් සැළසුම් කළේය.එය පියවර හතරක් දක්වා දීර්ඝ විය.

පළමුව මරණයට කැපවූ මිනිසුන් කිහිප දෙනෙක් සොයාගත් පයාසි(පයාසි වැනි බමුණන්ට එකල දේශපාලනය තුලද ඉහළම පිළිගැනීමක් පැවති බවට සැකයක් තිබිය නොහැකිය.අධිපති මතවාදය පවත්වාගෙන යාම සඳහා දේශපලන බලයක් පැවතිය යුතු බවද මින් කියැවෙයි.ඒ බිඳහෙලීමටද එවැනිම බලයක් අවශ්‍ය වේ.අද වන විට මෙය තීරණාත්මක අවශ්‍ය තාවයක්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.තවද පයාසි ව අත් අඩංගුවට ගෙන දඬුවම් කරන්නැයි කීමට ඊනියා මානව හිමිකම් වෙළෙන්දන්ද එවක දඹදිව හිඳ නැත.) එක් මිනිසෙකුගේ ශරීරය කොටස් වලට ඉරා දමමින් ඒ තුල ආත්මයක් ඇත්දැයි සොයා බැලුවේය.එවැනි විශේෂ යමක් හඳුනාගත නොහැකි වූ විට ඔහු සිය දෙවන පරීක්ෂණය සැළසුම් කළේය.

එහිදී මරණයට කැපවූ දෙවන මිනිසාව ක්ෂණිකව මරා දැමිනි.එවිට එම ශරීරයෙන් ආත්මය ලෙස හඳුනාගත හැකි යමක් ඉවත්ව යන්නේදැයි ඔහු නිරීක්ෂණය කළේය.එයින්ද පයාසි ට අවශ්‍ය වූ ප්‍රතිඵලය නොලැබිණි.කෙසේ වෙතත් ආත්මය පිටවී යනු තමන්ට නොපෙනීමෙන් එවැන්නක් නැති බව තීරණය කළ නොහැකිය.ආත්මය නොපෙනෙන දෙයක් වීමටද ඉඩ තිබේ.එබැවින් පයාසි සිය තෙවන පරීක්ෂණය සැළසුම් කළේය.
තෙවැනි මිනිසාගේ බර කිරාගත් ඔහු මිනිසාව මරා දමා මෘත දේහයේ බර කිරා බැලුවේය.ආත්මයක් තිබුණේ නම් හා මරණය සමග එය ඉවත්ව ගියේ නම් මෘත දේහයේ බර මිනිසාගේ බරට වඩා අඩු විය යුතුය.කෙසේ නමුත් එයින්ද අවශ්‍ය පිළිතුර නොලද තැන (පාඨාංක දෙකම සමාන වීමෙන් පයාසි සැළකිය යුතු තරම් නිරවද්‍යතාවකින් ඒවා ලබාගෙන ඇති බවද කියැවෙයි) මරණාසන්න බමුණෙකු වෙත ගිය පයාසි,මරණයෙන් පසු ආත්මය පිටත්ව ගියේ නම්,නැවත ඉපදීමෙන් අනතුරුව තමා වෙත පැමිණ එය දැනුම් දෙන ලෙස අයැද සිටියේය(පයාසි ඒ සඳහා බමුණෙකු වෙතටම ගියේ ඇයි?බමුණෙක් ලබා දෙන දත්ත ක්ෂත්‍රීය,වෛශ්‍ය හෝ ශුද්‍ර මිනිසෙකු ලබා දෙන දත්ත වලට වඩා විශ්වසනීයද?ඒ එසේ නම් වෙනත් කුලයක මිනිසෙකු ලබා දෙන දත්ත විශ්වසනීය නැතැයි පයාසි නිගමනය කළේ ඇයි?අප නිර්මාණය කරන ප්‍රවාද පිලිගැනීමට මෙරට ඊනියා උගතුන් දක්වන අකමැත්ත හා පයාසිගේ ඉහත ක්‍රියාව අතර සමානතාවයක් වෙත්ද?ඊනියා උගතුන් පිළිගන්නේ තම බටහිර ස්වාමිදරුවන්ගේ ප්‍රවාද පමණක්ද?).

කෙසේ වෙතත් පයාසිට සාර්ථකත්වයක් ලබාගැනීමට නොහැකි විය(සාර්ථකත්වය යනු කුමක්දැයි තීරණය වන්නේ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වන සහ ලැබෙන ප්‍රතිඵල වලට සාපේක්ෂවය.බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුණේ වුවද ඇතැම් පරීක්ෂණ සාර්ථක ලෙස නොසැළකෙන්නේ නැත)නමුත් අපට මෙහිදී වඩා වැදගත් වන්නේ ඔහු ඊනියා විධි ක්‍රමයේ(විද්‍යාත්මක ක්‍රමයේ) බොහෝ කොන්දේසි වලට අනුකූලව තම පරීක්ෂණය සිදු කළ බවය.

පයාසි ගේ පරීක්ෂණ අමානුෂික යැයිද එබැවින් ඒ පරීක්ෂණයක් ලෙස සැළකිය නොහැකි යැයිද,පරීක්ෂණ වල අරමුණ විය යුත්තේ මිනිසාට යහපතක් කිරීම යැයිද කියන්නන්ට කිවයුත්තක් ඇත.පයාසි ගේ පරීක්ෂණ අමනුෂික බව සැබෑය.නමුත් බටහිර විද්‍යාව තුල කෙරෙන සියලු පරීක්ෂණ මානුෂික වන්නේද?කිසිසේත් නැත.යන්තම් හෝ එසේ කිවහැකි පරීක්ෂණ බටහිර විද්‍යාවේ වුවද ඇත්තේ අතලොස්සකි.ඊනියා විද්‍යාත්මක පරීක්ෂණ වල සාර්ථකත්වය උදෙසා අහිංසක සතුන් කොපමණ සංඛ්‍යාවකගේ,මිනිසුන් කොපමණ සංඛ්‍යාවකගේ ජීවිත බිලිගෙන ඇත්දැයි,බිලි ගනු ඇත්දැයි සිතා බැලිය යුතුය.අනෙක් අතට මිනිසුන්ට යහපතක් වන්නේය යන්න වෙනත් සතුන්ගේ ජීවිත බිලි ගැනීමට මිනිසාට ඇති නිදහසට කරුණක් වන්නේ කෙසේද?ඒ යහපත යනු සමස්ත මිනිස් වර්ගයාට වන යහපතක් නොව බටහිර මිනිසාට වන යහපතක් පමණක් බවද අපි මතක තබා ගත යුතු වෙමු. (එක්සත් ජනපදය විසින් ජපානයට පරමාණු බෝම්බ හෙළන ලද්දේ පරීක්ෂණයක් වශයෙන්ද බව මෙහිදී අපේ සිහියට නැගෙයි).

පරීක්ෂණ වල ඊනියා යහපත ගැන පයාසි ට දොස් පවරන්නන්ට කිව යුත්තේ ඊට පෙර බටහිරයන්ට ඒ පවසන ලෙසය.පයාසි බොහෝ විට තම මුල් පරීක්ෂණ සඳහා යොදාගන්නට ඇත්තේ ශුද්‍රයන් විය හැකිය(පයාසි කළ දේ සාධාරණ හෝ යහපත් වන්නේ යැයි මින් නොකියැවේ).අද බටහිරයන් තමන් හැරුනුකොට වෙනත් සත්ත්වයින් හා ජන වර්ග කෙරෙහි දක්වන්නා වූ ආකල්පයම(ඊට වඩා තරමක් වෙනස්ව) බමුණෝ,ශුද්‍රයන් කෙරෙහි දැක්වූහ. දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ උන් වහන්සේගේ දරුවන් වන බටහිරයන්ට විනා එසේ නොවන අපට නොවෙයි.

ඒ කවරක් වෙතත් පයාසි ඊනියා විධි ක්‍රමයේ පියවර අනුගමනය කළේ වුවද(පයාසි තම පරීක්ෂණය සැළසුම් කළේය,පාඨාංක ලබා ගත්තේය,ඒවා සංසන්දනය කළේය,නිරීක්ෂණ කළේය,උපකල්පන කළේය.) එහි නිර්මාතෘවරයා ලෙස ඔහු නොසැළකෙන්නේ ඇයි?වියුක්තය හැරුණු කොට ගැලීලියෝ වුවද පයාසි ට වඩා දැක්වූ දක්ෂතාවය කුමක්ද?ගැලීලියෝ කළේ සෑහෙන තරමක ප්‍රෝඩාවක් බව ඉහත පෙන්වා ඇත.
මේ සියල්ලෙන් කියැවෙන්නේ විද්‍යාත්මක ක්‍රමය යනු පටන්ගැන්මේ සිටම ව්‍යාජයක් බව විනා අන් කවරක්වත් නොවේ.අපව වහලුන් කොට,අප මත සංස්කෘතික යටත්විජිතවාදය පැටවීම සඳහා හැර බටහිරයන්ට වත් ඊනියා විධි ක්‍රමයෙන් ඇති පලක් නැත.මේ පුහු කොන්දේසි වලට යටත් නොවී අප වහ වහා දැනුම නිර්මාණය කළ යුතුය.ඒවා අපේ පදනමට අනුකූල වීම හා සංගත වීම සෑහේ.

ඒ දැනුම අවියක් කොට අපි සංස්කෘතික යටත්විජිතවාදයට එරෙහිව සටන් කළ යුතු වෙමු.ඒ සටනින් අප ජයග්‍රහණය කරන්නේ කෙදිනද,එදින සමස්ත ලෝකයම සැනසුම් සුසුම් හෙලනු ඇත...

0 comments: